X

පිළිකාව යනු අද වන විට ලෝකය පුරා ම පැතිරී ඇති රෝගයකි.

පිළිකාව ඇතිවන්නේ පාලනයකින් තොරව අසාමාන්‍ය සෛල වැඩි වර්ධනය වීමෙන් වන අතර ශරීරයේ ඕනෑම කොටසක එය සිදු විය හැකිය. 

පිළිකාව යනු කුමක්ද?

පිළිකාව යනු 100කටත් වැඩි රෝග ගණනාවක එකතුවකට ඇති පොදු නමකි. ඕනෑම පිළිකාවක් ඇතිවන්නේ අසාමාන්‍ය සෛල පාලනයෙන් තොරව වර්ධනය වීමෙනි. ප්‍රතිකාර නොකිරීමෙන් බරපතළ තත්ත්වයට සහ මරණයට වුව ද පත්විය හැකිය. 

සාමාන්‍ය සෛල ක්‍රියාකරන්නේ කෙසේද?

ශරීරය ට්රිලියන ගණනක ජීවි සෛලයන්ගෙන් යුක්තය. සාමාන්‍ය සෛල වර්ධනය වී, නව සෛල ඇතිවීමට බෙදී ගොස් එම සෛල විනාශ වේ. පුද්ගලයෙකුගේ ජීවිතයේ මුල් කාලයේ දී සාමාන්‍ය සෛල වේගයෙන් බෙදී ගොස් එම පුද්ගලයට වර්ධනය සඳහා සහාය වේ. වැඩිහිටියෙකු වූ පසු බොහෝ සෛල බෙදීයන්නේ ගෙවී ගිය හෝ මියගිය සෛල වෙනුවට නව සෛල අවැසි නිසා පමණි. 

පිළිකාව ඇරඹෙන්නේ කෙසේද ?

පිළිකාව ඇරඹෙන්නේ ශරීරයේ කොටසක සෛල පාලනයකින් තොරව වර්ධනය වීම නිසා ය.සාමාන්‍ය සෛල මෙන් නොව පිළිකා සෛලවල වර්ධනය වෙනස් ය. සෛල මිය යාම වෙනුවට, පිළිකා සෛල වැඩියෙන් වර්ධනය වී නව අසාමාන්‍ය සෛල වර්ධනය කරයි. පිළිකා සෛලවලට අනෙක් පටක තුළට ද වර්ධනය වීමේ හැකියාව ඇත. සාමාන්‍ය සෛල හට එසේ කිරීමේ හැකියාවක් නොමැත. පාලනයෙන් තොරව වර්ධනය වීම සහ අනෙක් පටක තුළට වර්ධනය වීම යන කරුණු නිසා එවැනි සෛලයක් පිළිකා සෛලයක් ලෙස පිළිගැනේ.

සෛල, පිළිකා සෛල බවට පත්වන්නේ ඩී.එන්.ඒ. හි වෙනස් වීම නිසා ය.(deoxyribouncleic acid). ඩී.එන්.ඒ. සෑම සෛලයක් තුළ ම ඇත. එමගින් එහි ක්‍රියාවන් මෙහෙයවයි. සාමාන්‍ය සෛලයක ඩී.එන්.ඒ. මගින් සෛලයට හානි වූ විට සෛලය අලුත්වැඩියා වේ නොමැති නම් මිය යයි. නමුත් පිළිකා සෛලහි හානි වූ ඩී.එන්.ඒ. අලුත්වැඩියා නොවේ, මිය නොයයි. ඒ වෙනුවට ශරීරයට අවශ්‍ය නැති සෛල නිපදවයි. මෙසේ නිපදවන සෑම නව සෛලයකම මුල් සෛලයේ සිදු වූ හානිය ගැබ්ව ඇත.

උරුමයෙන් ද අසාමාන්‍ය හෝ වැරදි ඩී.එන්.ඒ. හිමි විය හැක. නමුත් බොහෝ ඩී.එන්.ඒ.හානිවීම් හටගන්නේ සාමාන්‍ය සෛලයක් ප්‍රතිනිෂ්පාදනය වන විට හෝ පරිසරයේ යම් කිසි දෙයක් නිසා විය හැකිය. ඇතැම් විට ඩී.එන්.ඒ. හානි වීම් දුම්බීම හෝ හිරු එළියට නිරාවරණය වීම නිසා ද සිදුවිය හැකිය. නමුත් යමෙකුගේ පිළිකා තත්ත්වයකට හේතුව නිශ්චිතව පැවසීමට අපහසු ය.

බොහෝ අවස්ථාවල දී පිළිකා සෛල ටියුමර් බවට පත්වේ. කාලයත් සමග සාමාන්‍ය පටක තුළට මෙය ගමන් කරයි. ලියුකේමියා වැනි තත්ත්වයන් ටියුමර් බවට පත් වීම අඩුය. මෙම පිළිකා සෛල රුධිරය සහ රුධිරය නිපදවන අනෙක් අවයවයන් සමග සම්බන්ධ වී අනෙකුත් පටක සමග ද සංසරණය වේ. 

පිළිකාව පැතිරෙන්නේ කෙසේද?

පිළිකා සෛල සාමාන්‍යයෙන් ශරීරයේ අනෙකුත් කොටස් කරා ද පැතිර වර්ධනය වී සාමාන්‍ය සෛල වසා පැතිරෙයි. මෙලෙස සිදුවන්නේ පිළිකා සෛල ශරීරයේ රුධිර සංසරණය හෝ වසා ගැටිති දක්වා පිළිකා සෛල වර්ධනය වූ විට ය. පිළිකා වර්ධනය වන මෙම තත්ත්වය හඳුන්වන්නේ මෙටස්තතිස් යනුවෙනි.

පිළිකාව වර්ධනය වන ස්ථානය කුමක් වුවද සෑමවිට ම එය නම් කරන්නේ එය හට ගත් ස්ථානයේ නමින් ය.බඩවැලේ පිළිකාව අක්මාව දක්වා වර්ධනය වූ විට එය හඳුන්වන්නේ මෙටස්ටටික් (metastatic)කොලොන් පිළිකාව යනුවෙනි. මෙම තත්ත්වයේ දී අක්මාවෙන් ලබාගන්නා පිළිකා සෛල කොලොනයේ සෛල හා සමාන වේ. මේ දෙවර්ගය සඳහාම ප්‍රතිකාර සිදුකරන්නේ ද එක සමාන අයුරිනි. 

පිළිකා වෙනස්වන්නේ කෙසේද?

විවිධාකාරයේ පිළිකා හැසිරෙන්නේ විවිධ අයුරිනි. පෙනහළු පිළිකා සහ සමේ පිළිකා බොහෝ සේ වෙනස් ය. ඒවා වර්ධනය වන්නේ වෙනස් වේගයන්ගෙන් හා ප්‍රතිචාර දක්වන්නේ වෙනස් ප්‍රතිකාර ක්‍රමයයන්ට ය. මෙම නිසා රෝගීන්ට ඔවුන්ගේ පිළිකා රෝගයට ගැලපෙන ප්‍රතිකාර ලබා දිය යුතු ය. 

ටියුමර්

ටියුමරයක් යනු අසාමාන්‍ය ඉදිමුමක් හෝ සෛල එකතුවකි. නමුත් සෑම ටියුමරයක් ම පිළිකාවක් නොවේ.පිළිකා නොවන ටියුමර් බෙනිගන් ලෙස හඳුන්වයි. බෙනිගන් නිසා ගැටළු රාශියක් ඇති විය හැකිය. ඒවාට විශාල ලෙස වර්ධනය වී නිරෝගී අවයව සහ පටක මත පීඩනය ඇති කළ හැකිය. නමුත් ඒවාට නිරෝගී සෛල තුළට ඇතුළත් විය නොහැකිය. ඒවාට ශරීරයේ අනෙක් කොටස්වලට පැතිරිය නොහැකිය. මෙම ටියුමර් තත්ත්වයන් ජීවිතයට තර්ජනයක් වන්නේ කලාතුරකිනි. 

පිළිකා සුව කළ හැකිද ?

බොහෝ පිළිකා කලින් හඳුනාගෙන ප්‍රතිකාර කළහොත් සුව කළ හැකිය. පිළිකා කලින් හඳුනා ගතහොත් ඒවා ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට හෝ කෙමෝ  චිකිත්සාව හෝ විකිරණ චිකිත්සාව මගින් හැකිලිය හැකි තරම් කුඩා ය. ඇතැම් බරපතළ පිළිකා ද ප්‍රතිකාර මගින් සුව කළ අවස්ථා ඇත. 

ප්‍රභවය - ඇමෙරිකානු පිළිකා සමාජය

logo